Life
පිළිකා උවදුරින් බේරෙන හැටි
වත්මන් සමාජය මුහුණ දෙන ප්‍රබල අර්බුදයක් වන පිළිකා හැදීමට හේතු මොනවාද? ඒ ගැන ගැඹුරින් විමසා බැලීම වටී. කාර්මීකරණයත්, හරිත විප්ලවයත් හේතුකොටගෙන පිළිකා ඇතුළු බෝ නොවන රෝග ගණනාවකින් අප සමාජය වෙළී ඇති බව නම් පැහැදිලිය. විශේෂයෙන් අපේ ආහාර රටාව මෙන්ම අවම පරිසරය ද එදිනෙදා ජීවන පැවැත්ම ද මෙම රෝග තත්ත්වයන්ට ඉඩහසර සලසන බව නම් පැහැදිලිය.
සාම්ප්‍රදායික ආහාර රටාවෙන් ඉවත්ව නුහුරු ආහාර සංස්කෘතියකට හුරු වීම ද ඊට එක් හේතුවකි. හරිත විප්ලවයේ නාමයෙන් අපගේ කෘෂිකාර්මික රටාව උඩු යටිකුරු වීම ද තවත් අප මහ පොළොවේ වැඩුණු සහ වගා කරන ලද අපට ආවේණික ආහාර භෝග වෙනුවට වැඩි වැඩියෙන් පලදාව ඇති වෙළෙඳපොළ පමණක් ඉලක්ක කර ගත් කෘෂිකාර්මික රටාවන්ට හුරුවීමු. අප කෘෂිකර්මාන්තයේ දී භාවිත කරන බිජයේ සිට කෘමිනාශක, වල්නාශක, රසායනික පොහොර ආදිය මෙම රෝග තත්ත්වයන්ට ඉවහල් නොවේ යැයි කාට කිව හැකිද? විශේෂයෙන් පෙණහලු, අක්මා, වකුගඩු ආදියේ පිළිකා සැදීමට ආසනික් (පාසානම්), කැඩ්මියම්, කේරාමියම් වැනි බැර ලෝහයන් මෙන්ම රසායනිකයන් ද හේතුවන බව විද්‍යාඥයෝ පවසති. අතීතයේ දී අපගේ කෘෂිකාර්මික රටාව ස්වභාවික පරිසරයත් සමග බද්ධව ගහකොළ, සතා සිව්පාවා රැකගනිමින් කරන ලද කර්මාන්තයක් විය. එහෙයින් ආහාරයට ගන්නා ලද භෝගවල මෙවැනි වසවිස අන්තර්ගත නොවීය. නවීන කෘෂි විප්ලවයේ නාමයෙන් අපගේ සෞඛ්‍යයට අහිතකර රසායනිකයන් ටොන් ගණනක් මහ පොළොවට හලා නැද්ද? වල්නාශක, කෘමිනාශක, රසායනික පොහොර ආදිය ජුවම මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වයන්ට බලපාන බව නම් කිව හැකිය. මෙම කෘෂිකාර්මික ක්‍රියාවලිය නිසා අවට පරිසරයේ සිටින බත්කූරාගේ සිට තිත්තයා දක්වා සත්ත්වයින්ගේ ජීවන පැවැත්ම අහෝසි වූයේ යම් හෙයකින්ද ඒ හා සමානව මිනිසාගේ පැවැත්මට ද තර්ජනය එල්ල වී හමාරය.
කෘෂිකාර්මික කටයුතුවලින් පිළිකා වැලඳීමට එසේ හේතු සපයද්දී අප ආහාරයට ගන්නා සංස්කරණය කරන ලද විවිධ ආහාර ද ඒ තත්ත්වය තවත් බරපතළ කරයි. ප්‍රමිතියෙන් තොරව සකස් කරන ලද මාංස වර්ග තවත් හොඳ උදාහරණ සපයයි. වර්තමානය වන විට අපගේ ස්වභාවික ආහාරවලින් ඈත්ව රසයට පමණක් ගිජු වෙමින් ආහාර බුදිනා සමාජයක පිළිකා පැතිරීම අරුමයක් ද? විවිධ මාංස වර්ග කල්තබා ගැනීමට යොදන බොහෝ රසායනිකයන් ආන්ත්රික පිළිකා සෑදීමට ඉවහල් වේ. වර්තමාන දරුවන් සොසේජ්, බේකන්, හැම්, හොට්ඩොග් වැනි ආහාර වර්ගවලට හුරු වී සිටින්නේ හුදෙක් රසය මත පමණක් සලකා නොව ඒ වෙනුවෙන් ගොඩනැගී ඇති උප සංස්කෘතියට ද අසුවීමෙනි. ඉහත සඳහන් කළ එම ආහාර වර්ග සැකසීමේ දී යොදා ගැනෙන රසකාරක මෙන්ම කල්තබා ගැනීමට යොදා ගැනෙන සෝඩියම් නයිට්රේට් (NaNo3)වැනි රසායනිකයන් ද පිළිකා කාරකය. ඇස හා දිව පිනවීම උදෙසාම මේවා ඔබගේ ආහාර වේලට එකතු වන්නේ නම් ඔබේ ජීවිතය බොහෝ විට ආන්ත්රික පිළිකාවකින් කෙළවර වීමට බොහෝදුරට ඉඩකඩ තිබේ.
වර්තමානයේ ආහාර රසගන්වන තවත් එක් රසායනිකයක් වන්නේ මොනො සෝඩියම් ග්ලූකෝ මේට් (MSG) ය. වෙළෙඳපොළෙන් ලබා ගන්නා බයිට් පැකට්ටුවේ සිට බිස්කට් පැකට්ටුවේ ද කොත්තු රොටියේ සිට ෆ්‍රයිඩ් රයිස් එකේ ද පොල් සම්බෝලයේ සිට පරිප්පු හොද්දේ ද රසකාරක අන්තර්ගත වේ. පිළිකා පමණක් නොව අධිරුධිර පීඩනය, රුධිරගත මේදය, අම්ලපිත්තය ආදි බොහෝ රෝගයන්ට ද මෙම රසකාරකය හේතු වෙයි. අවන්හල්වලින් කුස පුරවා ගන්නා උදවිය මෙවැනි ආහාර ගැනීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු වේ.
ශ්‍රී ලංකාවේ මිනිසුන් මියයන ප්‍රධාන රෝග 20න් 04ක්ම අයත් වන්නේ පිළිකා ගණයට බව සමීක්ෂකයෝ පෙන්වා දෙති. පියයුරු පිළිකා, මුඛ පිළිකා, පෙණහලු පිළිකා, ගැබ්ගෙල පිළිකා ආදිය මෙහි ඉදිරියෙන්ම ඇත. මේ බොහෝ පිළිකාවලට හේතුව අවිධිමත් ආහාර රටාවයි. ආහාර පිළියෙල කළේ විවිධ සංස්කරණ විධි ඔස්සේය. නමුත් පසුව එම ආහාර සංස්කරණ විධි වෙනස් විය. බොහෝ විට තම්බා දිය හැරීම, ලුණු දියේ දැමීම, පවනේ වියළීම, තව් මැරෙන්නට ඉඩදීම, කිරි දැමීම, පොල් දැමීම සිදු වූයේ මේ නිසාම විය යුතුය. උදාහරණයක් ලෙස වර්තමානයේ මුඛ පිළිකා වැලඳීම ඉතා ශීඝ්‍ර ලෙස වර්ධනය වන බව සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වේ. නමුත් මෙයට හේතු වනවා යැයි ප්‍රධාන වශයෙන් සැලකෙන බුලත් විට, දුම්වැටි පිළිබඳව සමාජය කොතෙක් දුරට දැනුවත් ද? දුම්වැටි සහ බුලත් විට සඳහා යොදා ගන්නා දුම්කොළ වගා කිරීමේ දී අධික ලෙස යොදන රසායනිකයන් මෙන්ම දුම්කොළවලට අන්තර්ගත පිළිකා කාරක රසායනික ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අප රටවැසියන් දුම්කොළ භාවිතයට හුරු වූයේ හුදෙක් යටත් විජිත සමයෙන් පසුවය. නමුත් ඈත ඉතිහාසයේ සිට බුලත් විට සැපීම මෙරට සංස්කෘතික ලක්ෂණයක් විය. බුලත් විටෙන් එතරම් හානියක් එදා දවස ගෙන දුන්නේ නම් බොහෝ කාලයක් යන්නට මත්තෙන් එම සංස්කෘතික ලක්ෂණය අපෙන් ගිලිහෙන්නට ඉඩ තිබුණි. නමුත් එදා බුලත් පුවක් ආදිය ගැනීමේ දී යම් ක්‍රමවේදයක් විය. විශේෂයෙන් මඩ පුවක් ගැනීම එකල සිරිත විය. මඩේ දැමීමට ගත්තේ ද ලේනුන් විසින් රබ්බඩ පැණි බොන ලද පුවක්ය. එම පුවක් මඩ යට දමා කල්ගිය පසු බුලත් විටට ගැනීමට එකල ගැමියා පුරුදු වී සිටියේය. යම් බොහෝ විෂ සහිත දේ මඩෙහිලා තිබිමෙන් ඒවායේ විෂ නැතිවේ යැයි එකල ද විශ්වාසයක් විය. වර්තමානයේ දී වුව බොහෝ විෂ වර්ග ශරීරගත වූ විට මඩ පෙවීම මෙන්ම සම මතුපිට මඩ ආලේප කිරීම ද සිදු වේ. ඉන් බලාපොරොත්තු වනුයේ විෂ නැසීමයි. එසේ නම් එදා රජ මැදුරේ සිට පැල්පත දක්වා භාවිත වූ බුලත් විට මාරයා අත නොවැනුවේ ඇයිදැයි සෙවිය යුතුය. එදා බුලත් විටට එකතු කරගත් තලා කොළ, දෙමට පොතු, එනසාල්, කරාබු නැටි, සාදික්කා, වසාවාසි, කොට්ටපොල්, කපුකිනිස්ස ඇට, කොත්තමල්ලි, ඉඟුරු පියලිය ආදිය අද බුලත් විටට නොතිබිමත් ඒවා වෙනුවට දුම්කොළ එකතු වීමත් සලකා බලනු වටී. එම නිසා විශේෂයෙන් දුම්කොළ ආශ්රිත නිෂ්පාදන භාවිතයෙන් ඈත්වීම සෞඛ්‍යයට වඩාත් හිතකරය.
ආහාර ඇසුරුම් පිළිබඳව ද අප සැලකිලිමත් විය යුතුය. ඒවා සැබැවින්ම සෞඛ්යාරක්ෂිත දැයි නිසැකවම කිව හැකිද? ඛනිජ තෙල් අපද්‍රව්‍යයන්ගෙන් නිර්මාණය වන මෙම ඇසුරුම් කෙරෙහි අප දැඩිලෙස අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන් අප බත් ඔතන ඉටි කවරය මෙන්ම බිමට ජලය දමා තිබෙන වතුර බෝතලය ද පැණි බිම බෝතලය ද නිර්මාණය වී ඇති රසායනිකයන් පිළිකා කාරක විය හැකිය. තවද බොහෝ ආහාර ඇසුරුම් කර ඇති ඉටි කවර ආදිය මෙන්ම ඒවායේ වර්ණයට යොදා ඇති වර්ණක ද පිළිකා කාරක විය හැක්කේ ඒවා නියමිත සම්මතයන්ට නිපදවී ඇතැයි ප්‍රමිති සහතිකයක් නොමැති නිසාය.
පියයුරු පිළිකා කාන්තාවන් අතර බහුලව දැකිය හැකි විශේෂයකි. එය 35 වඩා වැඩි අගයක් ගනී. අඳින ඇඳුම් පවා මෙම රෝගයට හේතු වන බව විද්‍යාඥයෝ කියති. මෙහිලා කාන්ත තිසරපට විශේෂයි. ඉතා හිර සේම උෂ්ණත්වය යාමනය කළ නොහැකි තිසර පට ශරීරයට අහිතකරය. තිසරපට නිපදවීමට ගනු ලබන අමුද්‍රව්‍ය පිළිකා කාරක වීමට ද ඉඩ ඇත. BBD (Benzyl butyl phthalate), DBP (Dibutly Phthalate) DEHP (Diethy hexyl phithalate) ආදි රසායනිකයන් මෙන්ම DINP (Disonoyl phthalate) DIDP (DI isodeeyl phthalate) DNOP (Dinoctyl phthalate යන රසායනිකයන් මේවා නිර්මාණයට යොදා ගැනේ. මෙම රසායනිකයන් පියයුරු පිළිකා කාරක වන අතර මඳසරු භාවය වැනි රෝග තත්ත්වයන් ද ඇතිකරලීමට හේතු වේ. විශේෂයෙන් කාන්තාවන්ගේ යට ඇඳුම් කෙරෙහි මීට වඩා සැලකිලිමත් විය යුතු නොවේද? ඉහත දැක්වූ රසායනිකයන් භාවිතයෙන් විවිධ ප්ලාස්ටික් වර්ග මෙන්ම කුඩා ළමයින්ගේ සෙල්ලම් බඩු ද නිපදවෙයි. ඊට අමතරව ක්ෂීර ග්‍රන්ථිවල ඇතිවන්නා වූ දෝෂයන් ද මව්කිරි දීමෙන් වැළකී සිටීම ද පියයුරු පිළිකාවලට හේතු වෙයි.
කාර්මීකරණයේ තවත් අතුරු ප්‍රතිඵලයක් වනුයේ පෙණහලු පිළිකා ප්‍රමාණය ඉහළ යෑමයි. දුම්පානය පමණක් නොව එදිනෙදා දැල්වෙන මදුරු දඟරය ද මෙයට හේතු වනවා යැයි කීවොත් ඔබ පුදුම වනවා ඇත. විශේෂයෙන් දුම්වැටිවලට වඩා වැඩි විෂ සහිත දුම් ප්‍රමාණයක් මදුරු දඟරවලින් නිකුත් වන බව විදු මතයයි. මදුරු දඟර නිෂ්පාදනය සඳහා භාවිත වන රසායනිකයන් අපගේ පෙණහලුවලට හානිදායකය. නිවෙස් සෙවිලි කිරීමේ දී භාවිත කරන ඇස්බැස්ටෝස් වැනි සෙවිලි තහඩු ද පෙණහලු පිළිකාවලට ජුව බලපායි. කර්මාන්තශාලාවලින් පිට කෙරෙන දුම ද ගල්අඟුරු බලාගාර, දැවිතෙල් බලාගාර ආදියෙන් පිට කෙරෙන දුම ද පිළිකාවට අත වනයි. විවිධ දෑ දහනය වීමෙන් ඇති කෙරෙන දැලි අංශු ද පෙණහලු පිළිකා ඇතිකිරීමට සමත් වෙයි. එසේම පොලිතින්, ප්ලාස්ටික් වර්ග ගිනි තබද්දී පිටවන අහිතකර වායු වර්ග ද පිළිකා ඇති කරයි. ඊට අමතරව ඒවා මොළයේ ස්නායු පද්ධතියේ ආබාධ හා පිළිකා ඇතිකිරීමට හේතු වේ. ගම්බද දර ළිප් මෙළවීමේ දී වියළි පොල් කොළ යොදා ගත්ත ද වර්තමානයේ ඉටිකවරයක් යෝගට් කප් එකක් හෝ සිලි සිලි බෑගයක් පාවිච්චි කෙරෙයි. මේවා නිසා ද ඉහත කී ආකාරයේ විවිධාකාර රෝග ඇතිවීම වැළැක්විය නොහැකිය.
එදිනෙදා සෞඛ්‍ය පරීක්ෂණ කටයුතුවල දී යොදා ගැනෙන එක්ස් කිරණ ද ඉතා අහිතකරය. නිරන්තරයෙන් එක්ස් කිරණට හසුවීම පිළිකා අවදානමකි. රබර්, ලෙදර් තීන්ත සැකසුම් කර්මාන්තවල දී ද පිළිකා කාරකයන් ශරීරයට ඇතුළුවීමට බොහෝ දුරට ඉඩ තිබේ. රෙදිපිළි වර්ණ ගැන්වීමේ කර්මාන්තයේ යෙදෙන අය ද ඒ කෙරෙහි අවධානයෙන් සිටිය යුතුය. අතීතයේ පැවැති ස්වභාවික වර්ණ ගැන්වීම්හි පැවැති සෞඛ්යාරක්ෂිත වැදගත්කම මෙහිලා සිහිපත් කළ යුතුය.
සංවර්ධනය යැයි අප නූතනයේ බදාගෙන ඇත්තේ රෝග සමුදායකි. අධිබල විදුලි රැහැන් ආශ්‍රිතව සිටින්නන් හට ලේ පිළිකා ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇතැයි වෛද්‍යවරු පවසති. භාවිත කරන දුරකථනය පවා මෙම රෝග තත්ත්වයන්ට හේතු වන බව කියැවේ. ආහාරයට ගන්නා මාළුවලට ද, කරවලවලට ද දමා ඇත්තේ ෆෝමලීන්ය. ෆෝමලීන් යනු පෙණහලු පිළිකාකාරකයකි. එසේම අක්මාවේ ද පිළිකා ඇති කිරීමට සමත් රසායනිකයකි. රතු පාට මස් වර්ග වන හරක්, එළු, ඌරු වැනි මස් වර්ග බාබර්කිව් වැනි ක්‍රමවලට පුලුස්සා කෑම ද ආන්ත්රික පිළිකා ඇතිවීමට හේතුවකි.
විශේෂයෙන් තන්තු සහිත ආහාර අනුභවය අඩුවීම ද මෙයට එක් හේතුවක් වේ. එදිනෙදා ජීවිතයේ දී පරිහරණය කරන ප්‍රමිතියෙන් තොර ඇලුමිනියම් භාණ්ඩ මෙන්ම ජලය උණු කරන කේතල්, ආහාර පිසින භාජන ආදිය බොහෝ විට පිළිකා කාරකය. රූපලාවණ්‍ය කටයුතු වෙනුවෙන් භාවිත කරන ආලේපන, ඩියෝඩ්‍රන්ට්, තොල් ආලේපන, ස්වභාවික නෙවූ සායම් වර්ග ආදිය අධික ලෙස භාවිත කිරීම පිළිකා ළඟාකර ගැනීමකි. වෛද්‍ය උපදෙසින් තොරව රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කරන එන්නත් ගැනීම ද ඉතාමත් අහිතකරය.
කාන්තාවන්ට වැලඳෙන්නා වූ ගැබ්ගෙල පිළිකා ද අදවන විට බහුලව දක්නට ඇත. විශේෂයෙන් ස්වභාවික ක්‍රමවලින් තොර යන්ත්‍ර මාර්ගයෙන් සිදු කෙරෙන ගබ්සා කිරීම් මෙන්ම ඔවුන් භාවිත කරන යට ඇඳුම් සහ ප්‍රමිතියකින් තොර සනීපාරක්ෂක තුවා භාවිතය මෙන්ම බහු ලිංගික සේවනය ද ගැබ්ගෙල පිළිකාවලට හේතු වෙයි.
එදිනෙදා ජීවිතයේ දී අප භාවිත කරන මුළුතැන්ගෙයි උපකරණයක් වන මයිකේරාවෙව් උඳුන මෙන්ම පරිගණකය, දුරකථනය, ඡායා පිටපත් යන්ත්‍රය හා විකිරණශීලී වෙනත් උපකරණ පිළිකා අවදානම ඉහළ නැවන බව කිව යුතුය.
සත්ත්ව පාලනයේ දී විශේෂයෙන් කුකුළන් පාලනයේ දී යොදා ගැනෙන එන්නත් වර්ග මෙන්ම වෙනත් හෝමෝනවල ද පිළිකා අවදානම ඉහළ නංවයි. විශේෂයෙන් ශීතකරණ භාවිතය ද දැනුම්වත්ව සිදුකළ යුතු වේ. බොහෝ ආහාර වර්ග ශීතකරණයේ තබා නැවත නැවත රත්කර භාවිතයට ගැනීම ද යහපත් නොවේ. පිළිකා මෙන්ම වෙනත් රෝගයන් ඇතිවීමට ද එය හේතු වනවා ඇත.
මේ අනුව බලන කල සම්ප්‍රදායෙන් පිට පැන නූතන සංවර්ධනය තාක්ෂණය යැයි එල්ලාගත් බොහෝ දෑ අප විනාශ කර හමාරය. ගන්නා ආහාරය ජීවත්වන පරිසරය බොන වතුර බිඳ, හුස්ම ගන්නා වා බිඳුව දූෂණය වී නම් අඳින ඇඳුම පැලඳුම අහිතකර නම් තවදුරටත් අප සිතා බැලිය යුත්තේ මෙම ක්රමයේම තවදුරටත් එල්ලී සිටිනවාද අනාගත පරපුර උදෙසා අතීතය මත පදනම්ව නව මානයන් සොයා ගන්නවාද යන්නය. පරිසරය අතික්‍රමණය කරන්නට යන කොයි කාහටත් උරුම වන්නේ අවසානයේ මෙවැනි දුක් පීඩා සහිත රෝග රාශියක් පමණි.
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මාලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks